Sunday, July 7, 2019

සාහිත්‍ය විශේෂතා


        ජාතක කතා රචනා කිරිමේ කතා රචනා කිරීමේ  මුඛ්‍යාධාශය වන්නේ මිනිස් සමාජය කෙරෙහි වටිනා ධර්මෝපදේශයක් ලබාදීමයි. එසේ වුව ද ජාතක කතා තුළින් සාහිත්‍යමය ලක්ෂණ මතු වීම වළක්වාලිය නොහැකි ය.මුල් පාලි ජාතකට්ඨකතාවේ ඇත්තේ ජාතක ගාථා විවරණය කිරීමක් පමණක් නමුත් සිංහල ජාතක පොතේ  ලකුණු පෙන්වන ජාතකට්ඨකතාවේ නොමැති  සාහිත්‍යමය රසයක් දක්නට ලැබේ. සරල බණ කථා ශෛලිය, ගැමි වහර, වියත් වහර, ආකෘතිය, දිගු වැකි ,කෙටි වැකි , උපමා උපමේය ,‍ ව්‍යංගාර්ථ ,සංකේත , වාක් චිත්‍ර ,නාට්‍යෝචිත අවස්ථා ,සංවාද ,සත්ත්ව චරිත යොදා ගැනීම , චරිත නිරූපණය ,උපහාස රසය , හාස්‍ය රසය යනාදියෙන් ජාතක කථාවන් පෝෂණය වේ. මේ නිසා ජාතක කතා පොත තරම් සිංහල වර්ගයා කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය ග්‍රන්ථයක් නොමැති යැයි පැවසීම සාවද්‍ය නොවේ .
               ජාතක කතා පොතේ එන විශේෂ  සාහිත්‍යයමය ලක්ෂණය වන්නේ එය   උගතාටත් නූගතාටත් එක සේ රස විඳීමේ හැකියාවක්  තිබීමයි. ජාතකපොත රසවිඳීමට විශේෂ දැනුම් සම්භාරයක් අවශ්‍ය නොවේ අවශ්‍ය වන්නේ සිංහල සංස්කෘතිකාංග භුක්තිවිඳීමේ වාසනා ගුණය පමණකි.

  • වෙස්සන්තර ජාතකය
  • උම්මග්ග ජාතකය
  • කුස ජාතකය

            ආදිය වින්දනය කරන්නේ බුද්ධියෙන් නොව හදවතිනි . අසන්නා හෝ පාඨකයා අර්ථ රසය විදියී. එමෙන්ම පොදු වහර හෙවත් ගැමිවහර හේතුකොටගෙන ජාතක කතා පොතේ භාෂාත්මක අගය තීව්‍රවේ.එය වියතාටත් පොදු රූපී වන ගැමියාටත් පොදු වන සරල බස්වහරකි.කවර සිද්ධියක් හෝ අවස්ථාවක් මනරම්ව මනහරව ‍ප්‍රකාශ කිරීම සඳහා ජාතක කතාකරු යොදාගත් භාෂාව මනාව උපයෝගී වී ඇත.
             "ඒ අසා අත්වැසි පුරුෂ මහා බෝසතාණන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය පියා සිටි කල්හි තෙමේ වීර්ය නො හැර ළිඳට බැස ගලතල මත්තේ යකුල ගණනක් එලාපූයේ ය. එකල්හි ගලතල මාධ්‍යයෙන් බිඳි යට වැටී  අවිච්ඡින්න ව  පවත්නා වූ ජල ප්‍රවාහය ඇස් වහාගෙන සිටියේය"
                   ( වණ්ණුපථ ජාතකය)
              එමෙන්ම  ජාතක කතා පොතට විශේෂ වූ  ආකෘතියක් දක්නට ලැබීම ද  විශේෂ සාහිත්‍යමය ලක්ෂණයකි.
  • පච්චුප්පන්න වත්ථු (වර්තමාන පුවත )
  • අතීත වත්ථු(අතීත පුවත )
  •  වෛය්‍යාකරණ( ගාථාවල අදහස් හා වචන විස්තර)
  •  ධර්මාවවාදය ( උපදේශය)
  • සමෝධානය (අතීත හා වර්තමාන කතාවල චරිත හා චරිතාංග ගැළපීම ) 
           ලෙසින් ජාතක කතා පොතට පොදු වූ ආකෘතියක් ඇත. එහෙත් සමහර ජාතක කතාවල මෙම අංග එලෙසින්ම දක්නට නොලැබේ .
      
   එමෙන්ම චරිත නිරූපණය ද ඉතා විශිෂ්ට ලෙස ජාතක කතාකරුවා නිරූපණය කර ඇත.සර්වකාලීන මනුෂ්‍ය චින්තනය ,මනුෂ්‍ය ගති පැවතුම් මනාව නිරූපණය කරන ජාතක කතා පොතේ කවර අන්දමේ චරිතයක් වුවද සොයාගත හැකියි. මාර්ටින් වික්‍රමසිංහ මහතා මේ  කථා චරිත හඳුන්වනු ලබන්නේ චරිත විවිධ දුටුවන්ගේ කතා නමිනි.
 "සාමාන්‍යයෙන් සුචරිතය හුවාදැක්වීම දුෂ්චරිතයට නිගා කිරීමක් දක්නට ලැබෙන නමුත් ජාතක චරිත ප්‍රායෝගික ජීවිත හා බැඳුණු ඒවා වේ. දුෂ්ටකම් හා කුහකකම් පමණක් නොව ඇතැම්විට ගුණද විදහා දැක්වීම සදහා ජාතක කතා වලට වස්තු විෂය වනුයේ පොදු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ තොරතුරුය"         යනුවෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසයි
  • උදාහරණයක් ලෙස:
          ඡද්දන්ත ජාතකය ගත හැකිය. ඡද්දන්ත හස්තිරාජයා කෙරෙහි නිස්කාරණයේ හටගත් වෛරය නිසාවෙන්   චුල්ල සුභද්‍රා නම් ඇතිනිය සුබහු නම් මිනිස් දුවක ව ඉපිද බරණැස් රජුගේ අගමෙහෙසිය වී ඡද්දන්ත හස්තිරාජයා මස් වැද්දකු ලවා ඝාතනය කරවා ඉනික්බිති වටිනා දළ යුවළ ලබා ගනී.නමුත් පෙර භවයේ තම ස්වාමියා වූ ඇත් රජුගේ දළ යුවළ එතුමාගේ ගුණ කදම්භය සිහිපත්ව පැලී මිය යන්නීය . එමෙන් ම ධර්මපාල ජාතකය , මධුපානී ජාතකය , කණවේර ජාතකය ආදි ජාතකවල් ඉතා උසස් ලෙස චරිත නිරූපණය කිරීමට ජාතක කතාකරුට හැකි වී තිබේ.

  •                        මනුස්ස චරිත  හුවා දැක්වීමට සත්ත්ව චරිත යොදා ගනු ලැබීම ජාතක කතා පොතේ එන තවත් විශේෂ ලක්ෂණයකි. තිරිසන් සතුන් මගින් ද පොදු මනුෂ්‍ය  චින්තනයේ දුර්ලභ වන ගතිගුණ හුවා දැක්වීමට ජාතක කතාකරු සමත්වෙයි. ඡද්දන්ත ජාතකය
  • මහිලාමුඛ ජාතකය 
  • අඡඤ්ඤක ජාතකය 
  • නච්ච ජාතකය 
  •  ගුණ ජාතකය
  • නන්දිවිසාල ජාතකය 
  •  කුක්කුර ජාතකය 
  • චුල්ල හංස ජාතකය  

          ආදී කතා රැසක තිරිසන් සතුන් දැක ගත හැකිය. උන්ගේ මානුෂීය චින්තනයට ලබා දෙන ආදර්ශත් ,පරමාදර්ශත් කතා රසයත් ඉමහත්ය.
                            බෝධිසත්ව හා දේවදත්ත චරිතය වනාහි බොහෝ විට ජාතක කතා පොතේ එන ප්‍රධාන චරිත දෙකක් වේ. ඒවා ඇතැම් වර්තමාන නවකතාවෙන් දක්නට ලැබෙන කළු  සුදු චරිත මෙන් නොව හොඳ නරක ඉගැන්වීම සඳහා මූර්තිමත් කෙරෙන සංකේතාත්මක චරිතය.බෝධිසත්ව චරිතය  වූ කලී පරමාදර්ශය සංකේතයයි.දේවදත්ත  චරිතය වූ කලී දුෂ්ටයාගේ චරිතය නොව මනුෂ්‍ය දුර්වලකම් හඟවන සංකීර්ණ චරිත ලක්ෂණ ඇත්තකි. බෝධිසත්ව හා දේවදත්ත යන මේ තත්ත්වය ආලෝකය හා අඳුර විද්‍යාව හා අවිද්‍යාවත් ගම්‍යමාන කරවන ප්‍රබල සංකේත දෙකයි.
                         පන්සිය පනස් ජාතක පොතෙහි එන භාෂාව ගත්කල එහි එන භාෂා ප්‍රයෝග ද එකිනෙකට වෙනස්ය. වෙස්සන්තර ජාතකය උම්මග්ග ජාතකය  භාෂා රටාව අතින් සම නොවේ. වෘත්තගන්ධී ශෛලියෙන් ලියැවුණු ජාතක කතා කිහිපයක්ම එහි ඇත.
                                        සිද්ධියත් චරිතයත් පාඨකයාත් අතර සියුම් ගැටුමක් ඇති කිරීම තුළින් රස ජනනය කරන නාට්‍යමය අවස්ථා නාට්‍යෝචිත අවස්ථා බොහොම සංඛ්‍යාවකින් පන්සිය පනස් ජාතක පොත් වහන්සේ පරිපූර්ණ වී ඇත.යහපත් වූ සුභාසිත වචන ම කථා කරන්නට ජනයාට අවබෝධ කරදෙන නන්දිවිශාල ජාතකය නාට්‍යමය රසයක් ඇති කරමින් නාට්‍යෝචිත අවස්ථා කිහිපයකින්ම සමන්විත බව දක්නට ලැබේ.
                       ලොව්තුරු කලණ ධර්මතාවයේ අගය මුළු ලොවටම හෙළි කළ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අති උතුම් චරිතයත් ඒ මඟ යමින් ශ්‍රී සද්ධර්මය දිවිහිමියෙන් රැක ගන්නා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චර්යා ධර්මයනුත්  මුසුකරමින් නිර්මිත චුල්ලහංස ජාතකය පුරාම ඇත්තේ නාට්‍යෝචිත අවස්ථාවන්ය. බුදුපියාණන්ගේ යශෝරාවය දැක ඉවසා දරා සිටිය නොහැකි දුසිල්වත් ජන්මාන්තර වෛරක්කාරයෝ වන දේවදත්ත තෙරුන් සොළොස් රා කලයක් පොවා මත් කරවූ චණ්ඩ පරුෂ නාලාගිරි හස්තියා බුදුන් වඩින  වීදියෙහි මෙහෙයවයි. බුදුරදුන් කෙරෙහි අනන්ත අප්‍රමාණ ගුණ ගෞරවයකින් යුතුව ආනන්ද මහා තෙරුන් වහන්සේ බුදුරදුනුත් ඇතුත් මැද්දට පැන පළමුව මට විපතක් වේවායි කියා සිටියේය. ඉවත්ව යන ලෙස බුදුන් වහන්සේ ප්‍රකාශ කළ ද කලණමිතුරු ගුණ වඩා බලවත් වූ නිසාත් ගුරුවරයා කෙරෙහි වූ අමිල භක්තිය නිසාත් බුදුරදුන්ගේ නියෝගය යට පත්විය. දෙවැනි වතාවේ බුදුරදුන් කුමක් කරන්නේද යන කුකුසෙන් පාඨක, ශ්‍රාවක සිත් තිගැස්මකට පත් කරවන ජාතක කතාකරු  නාට්‍යෝචිත ආකාරයට එය ඉදිරිපත් කරයි.
                              ජාතක කතාකරුගේ චිත්තරූප දැනවීම ද නාට්‍යෝචිත අවස්ථාවන් මෙන්ම සුවිශේෂී ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේ පැවසීමට තරම් සජීවි බවකින් නාට්‍යමය ගුණය ද මුසු  කරමින් මෙවැනි අවස්ථා නිරූපණය කර ඇත. සරල වුවද සංකීර්ණ වුවද ඕනෑම ගැටලුවකට පිළිතුරක් ද ඒ සමඟම වේ. එහෙත් එය සොයාගැනීමට බුද්ධිය හා තර්කය අවශ්‍යවේ.මහාසාර ජාතකය ද චිත්ත-රූප දනවන්නට සමත් ජාතක කථාවක් ලෙස පෙන්වාදිය හැකිය.
                       ජාතක කතා පොතේ එන ජාතක හාස්‍ය හා උපහාස රසයෙන් ද යුක්ත වේ. තත්කාලීන සමාජ විෂමතා, පාලන තන්ත්‍රයේ දුර්වලතා විසීමට බොහෝවිට මෙම උපහාසය යොදා ගනු දක්නට ලැබේ. නාම සිද්ධි ජාතකයේ එවැනි අවස්ථා දක්නට ලැබේ.එමෙන්ම මහාසාර ජාතකය ද හාස්‍ය රසය දනවන අවස්ථා ඇත. අවිචාරවත් නිසා මහාසාර පළඳනාව තෝරාගත් තැනැත්තා අල්ලා ගත නොහී ගැමියෙකුත්, නගරයේ සිටුවරයාත්, ගාන්ධර්වයාත්  නිරපරාදේ සිරගත කරයි.එවිට ඔවුන් අතර ඇතිවන සංවාදයක්  ජාතකකතාකරු හාස්‍ය හා උපහාසය දක්වන ආකාරයට දක්වා ඇත.
                          ජාතක පොතෙහි එන තවත්   විශේෂ  සාහිත්‍ය ලක්ෂණයක් වන්නේ ජාතකට්ඨ කථාවට අමතරව වෙනත් වර්ණනාත්මක ඡේද කතාවට අන්තර්ගත කොට ගෙන තිබීමයි.බුදුන්වහන්සේගේ ගුණ කීමටත් උන්වහන්සේ ගඳකිළියේ නිකුත්වන අයුරු කීමටත් මෙම වර්ණනා යොදාගනී.  භූරිදත්ත ජාතකය ,උම්මග්ග ජාතකය , නාලාගිරි ,වෙස්සන්තර ජාතකය  යන ජාතක කතා වල මෙවැනි වර්ණනා දක්නට ලැබෙන අතර ඒවා එකිනෙකට වෙනස්ය.
                         සංවාද කථනයෙහි හා අවස්ථා නිරූපණයෙහි ජාතක කථා කරුගේ සාමාර්ථය විමසීමද රසවත් වේ.උපමා රූපක ගෙන හැර පෑමෙහිද  ජාතක කතාකරුවන්ගෙන් රුචිය කතාව  රසවත්ද කිරීමෙහිද, චරිත ගැඹුරු කිරීමෙහි ද  අවස්ථා නිරූපණයෙහි ද ප්‍රබල ව සිටි බව සඳහන් කළ යුත්තකි.
               උපමා උපමේය අලංකාරයන්ගෙන්ද සමස්ත  ජාතක පොතම  පෝෂිතය. අවස්ථා හා සිද්ධි නිරූපණය සංවාද, චිත්ත රූප මැවීම අතින් නිදර්ශන අඩුවක් නොවේ.
              එමෙන්ම එහි එන අනුප්‍රාසත්මක භාෂා රටාවන්ද කතාව තුළ එන අරුතට වැඩි අලංකාරයක් ලබා දෙනු වස් බොහෝ සෙයින් උපකාරී වී ඇත.
                    මේ අගය කිරීම්වලින් යුක්ත වන ජාතක කතා පොත නිර්මාණාත්මක ලක්ෂණ පිළිබිඹු කිරීමෙහිලා විශේෂ වන්නේ ජාතකට්ඨකතාවේ ඇති ජාතකය එලෙසින්ම නොගෙන රසවත්ව ප්‍රතිනිර්මාණය කිරීම තුළිනි.

No comments:

Post a Comment

සමාජ ජිවිතය තුළ ගැටුම් නිරාකරණය කරගැනීමට ජාතක පොතෙන් ලැබෙන පිටුවහල

                              ජාතක පොත සදාචාර දර්ශනය මැනවින් ප්‍රකට කරවන කෘතියක් ලෙස හදුනාගත හැකි අතර බෞද්ධ දර්ශනය තුළ ගැබ්වූ අපරාධ විද්‍ය...